නිදහස් සේවක සංගමය ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය සහ ලෝක කම්කරු සංවිධානයේ සහයෝගිතාව මත මෙම වසරේ මාර්තු මස 09 වැනි දින කොළඹ මුවෙන්පික් හෝටලයේ දී MRA ජාතික සම්මේලනය (Migrant Recruitment Advisor – සංක්‍රමණික බඳවා ගැනීමේ උපදේශක) ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෘත්තීය සමිති නිලධාරීන් සහ සිවිල් සමාජ කමිටු නිලධාරීන් 50 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වූ මෙම සම්මේලනයේ විශේෂිත ආරාධිතනිය වශයෙන් ලෝක කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාවෙහි සහ මාලදිවයිනහි ගරු අධ්‍යක්ෂිකා සිම්රින් සිංහ් මහත්මිය සහභාගි වුන අතර ගරු ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සැසිය ආරම්භ විය.
එතුමන් විසින් පැමිණි සියලු දෙනා පිළිගැනීමෙන් අනතුරුව ආරම්භක කථාව ආරම්භ කරමින් සංක්‍රමණික සේවකයාගෙන් අප රටට ලැබී ඇති අගනා සේවාව සහ රට තුල ඔවුන්ට නොලැබුන එහෙත් ලැබිය යුතු නියමිත ස්ථානය පෙන්වා දෙමින් ඔවුන් නොදන්නා ඔවුන්ගේ අයිතිවාසිකම්, වගකීම් සහ ප්රතිලාභ පෙන්වා ඔවුන් දැනුවත් කළ යුතු අතර ඒජන්සි කරුවන් සහ අතරමැදියන්ට හසු නොවී ආරක්ෂිත ව සංක්‍රමණය කළ යුත්තේ කෙසේ ද යන්න දැනුවත් කළ යුතු බව පෙන්වා දුනි. විශේෂයෙන්ම ගෘහ සේවය සඳහා පිටත් වන කාන්තාවන්ගේ නිපුනත්වය ද වැඩි කළ යුතු බව දක්වන ලදී. තවද නිදහස් සේවක සංගමය පුරා අවුරුදු හතරක් මුළුල්ලේ එම කාර්යය නොයෙකුත් බාධා මැද විශේෂයෙන්ම කොවිඩ් වසංගතය පවතින අවස්ථාවේදීත් අපගේ සාමාජිකයින් නොවන සංක්‍රමණික සේවකයන්හට නොමිලේ සේවය ලබාදුන් අතර ජාත්‍යන්තර වෘත්තීය සමිති සම්මේලනය සහ ලෝක කම්කරු සංවිධානයේ සහයෝගිතාව සහ ආධාර ඒ සඳහා පිටුවහලක් වූ බව පෙන්වා දුනි.
ප්‍රධාන ආරාධිතනිය වූ ලෝක කම්කරු සංවිධානයේ ගරු අධ්‍යක්ෂිකා සිම්රින් සිංහ් මහත්මිය හඬ අවදි කරමින් පෙන්වා දුන්නේ ශ්‍රම සංක්‍රමණික ක්‍රියාවලිය තුල වෘත්තීය සමිති වල වැදගත් බව සහ නිදහස් සේවක සංගමය විසින් ඉටු කළ අගනා සේවය ඉතා උත්කෘෂ්ට බවය. අද ශ්‍රී ලංකාව තුල කොවිඩ් වසංගතය, ආර්ථික කඩාවැටීම, ශ්‍රම සංක්‍රමණයට ඇති අභියෝග, නුපුහුණු ශ්‍රමය සහ ශ්‍රමිකයා සඳහා නියම වෙළඳ පොළක් නොමැතිකම දැකිය හැකි ප්‍රධාන ප්‍රශ්න බව ඇය පෙන්වා දෙන ලදී. රටක දළ දේශීය ලාබය වැඩි කර ගැනීම උදෙසා ශ්‍රම සංක්‍රමණිකයින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ වැඩි කර ගත යුතු බවත් ඒ සඳහා ගෘහ සේවය වෙනුවට සාත්තු සේවිකා වැනි ඉහළ තලයේ වැටුප් ලබන සේවා සඳහා පුහුණුව ලබා දිය යුතු බව පෙන්වා දුනි. රට නොයවන ලෙසට සමහරු පෙන්වා දුන්න ද එය නිවැරදි නොවන බවත් දැනුවත් වී ආරක්ෂිත ව රට යෑම සුදුසු බවත් ඉදිරි වැඩකටයුතු සඳහා සහයෝගය ලබා දෙන බවටත් ඇය පවසන ලදි.
මෙහි දී ආරාධිත කථිකයා වූ සංක්‍රමණ සහ නාගරීකරණ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය්ය බිලේෂා වීරරත්න මහත්මිය විසින් ලංකාවේ විගමනික ශ්‍රමිකයන්ගේ වත්මන් තත්ත්වය සහ අදාළ ගැටළු පිළිබඳ කරුණු පැහැදිලි කෙරුනි. තවද රජය විසින් සංක්‍රමණික සේවකයින්ගේ ඉදිරි දියුණුව සඳහා
වැනි ක්‍රියාවන් ක්‍රියාත්මක කරමින් සිටින බව ද 2022 වසරේ දී 300,000 සංක්‍රමණික සේවකයින් රැකියා සඳහා විදෙස් ගතව ඇති බව පෙන්වා දෙන ලදී.
ලෝක කම්කරු සංවිධානයේ ආරක්ෂිත ශ්‍රම සංක්‍රමණය පිළිබඳ ජාතික ව්‍යාපෘති සම්බන්ධීකාරක නිෂාන්ත වර්ණසූරිය මහතා හඬ අවදි කරමින් ශ්‍රී ලංකා රජය තවමත් 2020 සිට ප්‍රතිපත්ති යාවත්කාලීන කර නැති බවත් ලෝක කම්කරු සංවිධානය එම ප්‍රතිපත්ති වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර සංක්‍රමණික සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පුහුණු මෙවලම් කට්ටලයක් සංවර්ධනය කරමින් සිටින බව පෙන්වා දුනි. මෙහි දී රජයේ සංවර්ධන නිලධාරීන් , සිවිල් සංවිධාන නිලධාරීන් සහ වෘත්තීය සමිති නිලධාරීන් පුහුණු කරමින් සිටින බවත් ඒ උදෙසා දේවේන්ද්‍ර මහතා ප්රමුඛ සියළු නිලධාරීන්ගෙන් සැදුම් ලත් උපදේශක කමිටුවක් සහ තාක්ෂණික කමිටුවක් පිහිටුවා ඇති බවටත් සඳහන් කෙරුනි.
සංක්‍රමණික බඳවා ගැනීමේ උපදේශක සම්බන්ධීකාරක – ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිර්මලානි ප්‍රේමතිලක පෙන්වා දුන්නේ MRA ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් මෙතෙක් දියත් කර ඇති සියලු සේවා වන් සහ ක්‍රියාකාරකම්ය. එහිදී නිදහස් සේවක සංගමය විසින් විදෙස් ගත වීමට බලාපොරොත්තුවන, විදෙස් ගත වූ සහ විදෙස් ගතව ආපසු පැමිණ සිටින සියළුම සංක්‍රමණිකයින් සඳහා සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් වෙනුවෙන් පවත්වන ලද සියළු වැඩමුළු සහ ඔවුන් වෙනුවෙන් 2020 වසරේ දියත් කරන ලද MRA Webpage සහ Facebook පිළිබඳව සියල්ලන් දැනුවත් කරන ලදී. ලක්ෂ තුන හමාරකට අධික පිරිසක් (MRA Facebook) අප හා එක්ව ඇති බවද පෙන්වා දෙන ලදී. එමෙන්ම විදේශ රටහිදී අසනීපව ලංකාවට ආපසු පැමිණීමට හාම්පුතා විසින් ඉඩ නොදුන් මුහුණු පොත ඔස්සේ මුණ ගැසුණු කාන්තාවක් අපගේ මැදිහත්වීම තුල ලංකාවට ආපසු පැමිණී බව පෙන්වා දෙන ලදී.
අනතුරුව අගතියට පත් එම සේවිකාව විසින් තමන්ගේ බිහිසුණු අත්දැකීම් සහ ඒජන්සි කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් මගින් සංක්‍රමණික සේවකයින් මුලා කරන අයුරු පෙන්වා දෙන ලදී.
MRA ව්‍යාපෘති වැඩමුළු වලදී සංක්‍රමණික සේවකයින්ගේ නිපුනතාවය පිළිබඳව උපදෙස් සැපයූ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ විධායක නිලධාරිනී චන්ද්‍රානි පණ්ඩිත මහත්මිය පෙන්වා දුන්නේ නිසි පුහුණුවක් නොලැබ විදේශ ගතවීම මත බොහෝ දෙනා මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන බවය. ශ්‍රී ලංකාව පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් විදෙස් ගතවීමට පෙර මනා පුහුණුවක් ලබා NVQ සහතිකය( ජාතික වෘත්තීය සුදුසුකම) ලබා ගැනීමෙන් ඉහළ වැටුපක් ලබා ගත හැකි බව ද පෙන්වා දෙන ලදී.
සම්මේලනයට සහභාගි වූ Voice Of Migrant (VOM) ආයතනයේ සම්බන්ධීකාරිකා දිල්ෂානි නුගවෙල මහත්මිය පෙන්වා දුන්නේ සංක්‍රමණික සේවකයින් වෙනුවෙන් හඬක් නොනැගුන අවදියක ඔවුන්ගේ හඬ වෙනුවෙන් 2020 වර්ෂයේ දී ආයතන 20 කින් මෙම ජාලය දියත් කල බවත් දැනට වෘත්තීය සමිති 5 ක් සහ ආයතන 26 ක් සම්බන්ධවීමට කැමත්ත දක්වා ඇති අතර නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා අධ්යක්ෂ ධුරය දරන බවත් ය.